
“ගෑනියෙක් පිරිමියෙක් කරන්නත්, පිරිමියෙක් ගෑනියෙක් කරන්නත් හැර අන් ඕනෑම දෙයක් කිරීමට හැකියාව ඇතැයි” කියමින් එදා ජේ. ආර්. ජයවර්ධන මහතා හඳුන්වා දුන් 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සීමාවන් පවා අභියෝගයට ලක් කරමින්, මෙරට සැත්කම් මගින් ලිංගිකත්වය වෙනස් කිරීමට ඉඩ සලසන චක්‍රලේඛ සහ පනත් බලරහිත කරන ලෙස ඉල්ලා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම අද (2026 ජූලි 20) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ නිෂ්ප්‍රභ විය.
කෙසේ වෙතත්, මෙම නඩු තීන්දුවත් සමඟ සමාජය තුළ ගොඩනැගෙමින් පවතින අසත්‍ය ප්‍රචාරයන් සහ සැබෑ නීතිමය තත්ත්වය පිළිබඳව විශේෂ අවධානයක් යොමු විය යුතුය.
හිතුමනාපෙට ලිංගිකත්වය වෙනස් කිරීමට අධිකරණය අවසර දී තිබේද?
නැත. ශ්‍රේෂ්ඨාධිකරණය මගින් අද ලබා දුන් තීන්දුවෙන් කියැවෙන්නේ ඕනෑම අයෙකුට තමන්ට හිතුමනාපෙට ලිංගිකත්වය වෙනස් කරගත හැකි බව නොවේ.
පෙත්සම්කාර විශ්‍රාමික ගුවන් හමුදා නිලධාරී ශාන්ත ජයතිලක මහතා විසින් ගොනු කළ පෙත්සමෙහි පැවැති ප්‍රධාන තාක්ෂණික හා නීතිමය අඩුපාඩු හේතුවෙන් එය විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කිරීමට (Dismiss) අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල තීන්දු කළහ.
කාලසීමාව ඉක්මවීම: මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කළ යුත්තේ අදාළ සිදුවීම වී මාසයක් ඇතුළත වුවද, 2015 සිට පැවත එන චක්‍රලේඛ අභියෝගයට ලක් කරමින් 2026 වසරේදී මෙය ඉදිරිපත් කිරීම නිසා නඩුව කාලාවරෝධී වී තිබීම.
ව්‍යවස්ථාපිත වරද: ව්‍යවස්ථාවේ 35 වන ව්‍යවස්ථාවට පටහැනිව වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පෞද්ගලිකව වගඋත්තරකරුවකු ලෙස නම් කර තිබීම.
පාර්ලිමේන්තු බලතල: පාර්ලිමේන්තුව මගින් සම්මත කළ 2024 අංක 37 දරන කාන්තාවන් සවිබල ගැන්වීමේ පනත බලරහිත කිරීමට මෙවැනි පෙත්සමකින් අධිකරණයට හැකියාවක් නොමැති වීම.
දැනට පවතින සැබෑ නීතිමය හා වෛද්‍ය විද්‍යාත්මක තත්ත්වය
සෞඛ්‍ය අමාත්‍යාංශයේ පවතින රෙගුලාසි අනුව මෙරට කිසිදු පුද්ගලයෙකුට අත්තනෝමතික ලෙස ලිංගිකත්වය වෙනස් කළ නොහැක. ඒ සඳහා දැඩි නීතිමය හා වෛද්‍ය විද්‍යාත්මක පටිපාටියක් අනුගමනය කළ යුතුය:
දීර්ඝ මනෝ වෛද්‍ය ඇගයීම: පුද්ගලයෙකුට ලිංග සංක්‍රාන්ති තත්ත්වයක් (Gender Dysphoria) පවතින බවට විශේෂඥ මනෝ වෛද්‍යවරයකු විසින් දීර්ඝ ලෙස පරීක්ෂා කර සහතික කළ යුතුය.
වෛද්‍ය අනුමැතිය හා ප්‍රතිකාර: ඉන් පසුව පමණක් සෞඛ්‍ය ක්ෂේත්රයේ දැඩි අධීක්ෂණය යටතේ හෝමෝන ප්‍රතිකාර හෝ සැත්කම් සඳහා යොමු කෙරේ.
නිල ලේඛන සංශෝධනය: රජයේ බලපත්‍රලත් මනෝ වෛද්‍ය නිර්දේශ මත පදනම්ව පමණක් උප්පැන්න සහතිකයේ හෝ හැඳුනුම්පතේ අදාළ සංශෝධන සිදු කිරීමට පරිපාලනමය වශයෙන් ඉඩ සැලසේ.
මාලිමා රජය සහ සංස්කෘතික ප්‍රශ්නාර්ථය
අධිකරණය විසින් නීතිමය කරුණු මත පෙත්සම නිෂ්ප්‍රභ කළද, ජෛව විද්‍යාත්මක පදනමෙන් බැහැරව සිදුවන මෙවැනි ලිංග සංශෝධන ක්‍රියාවලීන් ශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික පවුල් සංස්ථාවට සහ පාරම්පරික සංස්කෘතියට බලපෑමක් එල්ල කරන්නේද යන්න පිළිබඳව සමාජය තුළ දැඩි කතිකාවතක් නිර්මාණය වී ඇත.
වෙනසක් උදෙසා බලයට පත් වූ අනුර කුමාර දිසානායක මහතාගේ ‘ජාතික ජන බලවේගය’ (මාලිමාව) රජය යටතේ ද මෙවැනි සංස්කෘතිකමය වශයෙන් සංවේදී නීතිමය ප්‍රතිපාදන ඒ අයුරින්ම පවත්වාගෙන යාමට ඉඩ හැරීම හරහා, මෙරට සංස්කෘතික අනන්‍යතාව සහ අනාගත පරම්පරාවේ පැවැත්ම රැකගැනීමට වත්මන් රජය අනුගමනය කරන ස්ථාවරය කුමක්ද යන්න තවදුරටත් සමාජය හමුවේ ප්‍රශ්නාර්ථයක් ලෙස ඉතිරිව පවතී.

Be the first to comment