
දිට්වා සුළිකුණාටුවෙන් නිවාස, දේපළ සහ ජීවනෝපායන් අහිමිව තවමත් කුඩාරම් සහ තාවකාලික නවාතැන්වල ජීවිතය ගෙන යන ජනතාවගේ දුක්බර තත්ත්වය මධ්යයේ, ඔවුන් වෙනුවෙන් එකතු කළ ආධාර මුදල් සුරක්ෂිතව මහාභාණ්ඩාගාරයේ තැන්පත් කර ඇති බව වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්ය වසන්ත සමරසිංහ මහතා පවසයි.
විපතට පත් ජනතාවට සහන සැලසීම සඳහා දේශීය හා විදේශීය පරිත්යාගකරුවන්ගෙන් මෙන්ම කුඩා දරුවන්ගේ කැටවලින් පවා එකතු වූ මුදල් රජය ඉතාමත් වගකීමෙන් ආරක්ෂා කරමින් සිටින බව අමාත්යවරයා සඳහන් කළේය.
“දිට්වා සුළිකුණාටුවෙන් පීඩාවට පත්වෙච්ච ජනතාවට කුඩා දරුවො තමන්ගෙ කැටේ ගිහිල්ලා බාරදීපු සල්ලි ඉතාම සුරක්ෂිතව මහාභාණ්ඩාගාරය සතුව තියෙනවා. මේ මුදල් මේ ව්යසනයෙන් පීඩාවට පත්වෙච්ච ජනතාවට ආධාර දෙන්න තමයි දෙන්න කිව්වෙ,” යැයි ඔහු පැවසීය.
එමෙන්ම, රජය විසින් 2024 වසරේ අවසානයේ රුපියල් කෝටි 27,000ක්ද, 2026 වසර සඳහා තවත් රුපියල් කෝටි 50,000ක්ද වෙන්කර ඇති බව සඳහන් කළ අමාත්යවරයා, සමස්තයක් ලෙස රුපියල් කෝටි 77,000ක මුදලක් විපතට පත් ජනතාවට සහන සැලසීම සඳහා වැය කරමින් සිටින බවද කියා සිටියේය.
කෙසේ වෙතත්, ආපදාවෙන් මාස ගණනාවක් ගතව තිබියදීත් බොහෝ පවුල් තවමත් ස්ථිර නිවාස නොමැතිව කුඩාරම්වල සහ තාවකාලික නවාතැන්වල ජීවත් වන අතර, ඔවුන්ගේ ප්රධාන අපේක්ෂාව වී ඇත්තේ ආධාර මුදල් සුරක්ෂිතව පවතිනවාට වඩා ඉක්මනින් එම සහන තම ජීවිත යථා තත්ත්වයට පත් කිරීමට යොදා ගැනීමයි.

Be the first to comment