“ගැහැණු එක මිටට කියා ආවාට, අද අපේ ප්‍රශ්න කතා කරන්න මාලිමාවේ කවුරුත් නැහැ!” – සජබ ළාබාලතම සංවිධායකවරිය නීතිවේදී විශ්මිගෙන් සැර ප්‍රහාරයක්

‘ගැහැණු අපි එක මිටට’ යන සටන් පාඨය පෙරදැරිව බලයට පැමිණි ජාතික ජන බලවේගය (ජාජබ) රජය, අද වන විට කාන්තාවන් මුහුණ දෙන සැබෑ ප්‍රශ්න හමුවේ නිහඬ පිළිවෙතක් අනුගමනය කරන බව සමගි ජන බලවේගයේ මහරගම ආසන සංවිධායකවරිය, නීතිවේදී විශ්මි මෙනෙවිය පවසයි.

ඇය මේ බව කියා සිටියේ තරුණ තරුණියන්ට සහ කාන්තාවන්ට දේශපාලනයට එක්වන ලෙස නිල වශයෙන් ආරාධනා කරමින් පැවැති හමුවකදීය.

‘එක මිටට’ ආපු අය කෝ?

වර්තමාන දේශපාලන තත්ත්වය සහ කාන්තා නියෝජනය පිළිබඳව අදහස් දක්වමින් ඇය මෙසේද සඳහන් කළාය:

“මේ වර්තමාන රජය පත්වෙනකොට කිව්වේ ‘ගැහැණු අපි එක මිටට’ කියලා. හැබැයි අද වෙනකොට ලංකාවේ කාන්තාවන්ට පොදු ප්‍රවාහන සේවයකවත් නිදහසේ යන්න බැරි තත්ත්වයක් උදාවෙලා තියෙනවා. මේ ප්‍රශ්න ගැන කතා කරන්න ඔය කියපු ගැහැණු එකෙක්වත් ඉස්සරහට එන්නේ නැහැ. ඔවුන්ට ප්‍රශ්නයක් ආවම විතරක් පාර්ලිමේන්තුව ඇතුළේ කතා කරගන්නවා. හැබැයි රටේ සාමාන්‍ය කාන්තාවෝ වෙනුවෙන් කතා කරන්න අද කවුරුත් නැහැ.”

කාන්තාවන් දේශපාලනයට නොඑන්නේ ඇයි?

ලංකාවේ ජනගහනයෙන් 50%කට වඩා කාන්තාවන් සිටියත්, වත්මන් අගමැතිවරිය ද කාන්තාවක වුවත්, දේශපාලනය තුළ කාන්තා නියෝජනය තවමත් ඉතා පහත් මට්ටමක පවතින බව ඇය පෙන්වා දෙයි.

මීට ප්‍රධානතම හේතුව ලෙස ඇය හඳුන්වා දෙන්නේ, දේශපාලනයට පිවිසෙන කාන්තාවන්ට සමාජ මාධ්‍ය (Social Media) ඔස්සේ එල්ල වන නින්දිත සහ කැත අපහාසයන්ය. එවැනි අපහාස නිසා කාන්තාවන් දේශපාලනයට පැමිණීමට බියක් දක්වන බව ඇය පවසයි.

තරුණ පරපුරට සහ කාන්තාවන්ට විවෘත ආරාධනයක්

සාම්ප්‍රදායික පවුල් පාලනයෙන් සහ දූෂණයෙන් තොර අලුත් දේශපාලන සංස්කෘතියක් බිහි කළ හැක්කේ තරුණ පරපුරට සහ කාන්තාවන්ට පමණක් බව පවසන නීතිවේදී විශ්මි මෙනෙවිය, සජබ නායක සජිත් ප්‍රේමදාස මහතා සැමවිටම තරුණ අදහස්වලට ගරු කරන නායකයෙකු බවද අවධාරණය කළාය.

“කාන්තාවන්ගේ සහ තරුණයන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින්න පුළුවන් ඔවුන්ටම විතරයි. ඒ නිසා සාම්ප්‍රදායික දේශපාලනයෙන් එහාට ගිය අලුත් ගමනක් යන්න අපිත් එක්ක එකතු වෙන්න” යැයි ඇය වැඩිදුරටත් ඉල්ලා සිටියාය

Be the first to comment

Leave a Reply