Factory Reset කර සත්‍යය මකා දැමිය හැකිද ?

පාස්කු ප්‍රහාර සම්බන්ධයෙන් පත් කළ ජනාධිපති කොමිෂන් සභාවේදී ඉදිරිපත් වූ සාක්ෂි අතර, මහජන අවධානයට ලක් වූ කරුණක් වූයේ හිටපු රාජ්‍ය බුද්ධි සේවා ප්‍රධානී නිලන්ත ජයවර්ධන භාවිත කළ ඩිජිටල් උපකරණ පිළිබඳ අනාවරණයන්ය. CID ඩිජිටල් ෆොරෙන්සික් නිලධාරීන් කොමිසම හමුවේ ප්‍රකාශ කළේ, ඔහුගේ පෞද්ගලික ජංගම දුරකථනය කොමිසමට භාර දෙන අවස්ථාවේදී “factory reset” කර තිබූ බවයි. එනම් එහි පැවති දත්ත මකා දමා උපකරණය මුල් කර්මාන්තශාලා තත්ත්වයට පත් කර තිබූ බවයි.

එසේම, ඔහු භාවිත කළ ලැප්ටොප් පරිගණකයෙන්ද දත්ත මකා දැමීම් සිදු කර තිබූ බව අනාවරණය වූ අතර, ෆොරෙන්සික් පරීක්ෂණ හරහා මකා දැමූ ගොනු මිලියන ගණනක් අතරින් යම් තොරතුරු ප්‍රමාණයක් නැවත ලබාගැනීමට හැකි වූ බවද වාර්තා විය. කොමිසමේ පොලිස් විමර්ශන ඒකකය මෙම උපකරණ අත්අඩංගුවට ගෙන CID ඩිජිටල් ෆොරෙන්සික් රසායනාගාරය වෙත යොමු කර විශේෂ පරීක්ෂණ සිදු කළ බව සාක්ෂි මගින් හෙළි විය.

නිලන්ත ජයවර්ධන සම්බන්ධයෙන් පාස්කු ප්‍රහාර විමර්ශනවලදී මතු වූ ප්‍රධාන චෝදනාව වූයේ, ප්‍රහාරයට පෙර ලැබී තිබූ ඉන්දීය බුද්ධි තොරතුරු ප්‍රමාණවත් ලෙස අදාළ ආරක්ෂක සහ දේශපාලන බලධාරීන් වෙත සම්ප්‍රේෂණය නොකිරීමයි. ජනාධිපති කොමිසම මෙම කාරණය සම්බන්ධයෙන් ඔහුගේ භූමිකාව ගැඹුරින් විමර්ශනය කර, වගකීම් පැහැර හැරීම සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සලකා බලන ලෙස නිර්දේශ කර තිබුණි.

කොමිසම හමුවේ හෙළි වූ දුරකථනයේ factory reset කිරීම සහ ලැප්ටොප් පරිගණකයේ දත්ත මකා දැමීම් සම්බන්ධ කරුණු, විමර්ශනයට අදාළව බරපතළ ප්‍රශ්න සහ සැක මතු කළ සාධක ලෙස මහජන සංවාදයේ වැදගත් ස්ථානයක් ගත්තේය.

මේ අතර, 2023 වසරේ ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් මූලික අයිතිවාසිකම් නඩු තීන්දුව මගින්ද නිලන්ත ජයවර්ධන පාස්කු ප්‍රහාර වළක්වා ගැනීමට තිබූ තොරතුරු නිසි ලෙස භාවිත නොකිරීම සම්බන්ධයෙන් වගකිව යුතු පාර්ශ්වයන් අතරට නම් කරනු ලැබීය. එම තීන්දුව අනුව ඔහුට පෞද්ගලිකව වන්දි මුදලක් ගෙවීමටද නියෝග කෙරිණි. එය ඔහුගේ රාජකාරි වගකීම් සම්බන්ධයෙන් අධිකරණය විසින් සිදු කළ පැහැදිලි නිරූපණයක් ලෙස සැලකේ.

කෙසේ වෙතත්, ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව මගින් තීරණය කරනු ලැබුවේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වීම සම්බන්ධ වගකීම පිළිබඳවය. නමුත් ජාතික ආරක්ෂාවට අදාළ ඉතා සංවේදී සිදුවීමක් සම්බන්ධ විමර්ශනයකදී, අදාළ නිලධාරියෙකු භාවිත කළ උපකරණයක දත්ත මකා දැමීමක් හෝ විමර්ශකයන්ට තොරතුරු ප්‍රවේශය ප්‍රමාද වීමක් පිළිබඳ අනාවරණය වුවහොත්, ඒ සම්බන්ධයෙන් ජනතාව ප්‍රශ්න නැගීම සහ පැහැදිලි කිරීම් අපේක්ෂා කිරීම සාමාන්‍ය හා සාධාරණ ප්‍රතිචාරයකි. විමර්ශන සහ අධිකරණ ක්‍රියාවලීන්හි මූලික අරමුණ විය යුත්තේ එවැනි සැකයන් සහ ප්‍රශ්නවලට විශ්වාසදායක පිළිතුරු ලබාදීමත්, මහජන විශ්වාසය තහවුරු කිරීමත්ය.

Be the first to comment

Leave a Reply