වෛද්‍ය සාක්ෂි නැතිව මව්පියන්ගේ රෝගී තත්ත්වය සුවිශේෂී කරුණක් ලෙස පිළිගත නොහැකියි: නාමල් රාජපක්ෂ යළිත් රක්ෂිත බන්ධනාගාරයට

කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය: එයාර් බස් ගුවන් යානා මිලදී ගැනීමේ ගනුදෙනුවේදී අල්ලස් ලබා ගත් බවට චෝදනා ලැබ සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ලබන 27 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා ඊයේ (13) නියෝග කළේය.

සැකකරු වෙනුවෙන් ඉදිරිපත් කළ ඇප ඉල්ලීම් සියල්ල අධිකරණය විසින් නිෂ්ප්‍රභ කරනු ලැබීය.
නාමල් රාජපක්ෂ මහතාගේ පියා වන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ මව වන ශිරන්ති රාජපක්ෂ මහත්මිය එකවර රෝහල්ගතව ප්‍රතිකාර ලබන බැවින්, එය සුවිශේෂී කරුණක් ලෙස සලකා ඇප ලබා දෙන ලෙස විත්තියේ නීතිඥවරු ඉල්ලා සිටියහ. එහෙත් මහෙස්ත්‍රාත්වරයා පෙන්වා දුන්නේ මවගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් කිසිදු නිල වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත් කර නොමැති බැවින්, හුදෙක් මාධ්‍ය වාර්තා මත පමණක් පදනම්ව එය සුවිශේෂී කරුණක් ලෙස පිළිගත නොහැකි බවයි.

එමෙන්ම විමර්ශන කටයුතු අවසන් වී තිබීම ඇප ලබා දීමට තවත් කරුණක් ලෙස විත්තිය පෙන්වා දුන්නද, පැමිණිල්ල විසින් ඉතා කඩිනමින් විමර්ශන අවසන් කර අධිචෝදනා සකස් කර තිබීම හේතුවෙන් එයද ඇප දීමට පදනමක් නොවන බව මහේස්ත්‍රාත්වරයා පැහැදිලි කළේය.

අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර මහතා අධිකරණයට දැනුම් දුන්නේ අල්ලස් පනත සහ මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ නාමල් රාජපක්ෂ මහතාට එරෙහි අධිචෝදනා කෙටුම්පත් කර අවසන් බවයි. ඒ අනුව ඔහුට එරෙහිව ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ නඩු පැවරීමට අගවිනිසුරුවරයාගෙන් කඩිනමින් ඉල්ලීමක් කරන බවද ඔහු සඳහන් කළේය. මේ අතර මෙම නඩුවේ පස්වැනි සැකකරු ලෙස ‘බිස් සොලියුෂන්’ සමාගම නම් කිරීමටද පියවර ගැනිණි.

සියලු කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා, සැකකරුවකුට ඇප ඉල්ලීමට ඇති අවස්ථාවන් අහිමි නොවන සේ මෙම එයාර්බස් ගනුදෙනුවට අදාළ අධිචෝදනා තවදුරටත් ප්‍රමාද නොකර කඩිනමින් ගොනු කරන ලෙස පැමිණිලි පාර්ශ්වයට නියෝග කළේය.

Be the first to comment

Leave a Reply