
තාක්ෂණයේ විප්ලවීය දියුණුව කෘතිම බුද්ධිය AI දක්වා මහා පිම්මක් පැන ඇති යුගයක, ලාංකීය මාධ්‍ය කලාව අද වැටී ඇත්තේ කොතැනටද? සත්‍යය මුදලට පාවාදෙන, පාලකයන්ගේ ද විපක්ෂයේද මඩ සෝදන රෙදි අපුල්ලන්නන් බවට අද මාධ්‍ය පත්ව ඇත !
ගොබෙල්ස් පවා පරදවන සරුවපිත්තල බොරුවත්, බඩගෝස්තරවාදීව වදනා පචත් සමාජගත කරමින් මුළු මහත් ජනතාවක් අන්ධකාරයේ ගිල්වා දැමීමට ඔවුහු සමත්ව සිටිති. ජාති, ආගම්, කුල මල භේද පසෙක තැබුවද, නින්දිත පක්ෂ දේශපාලන කණ්ණාඩි නිසා අද සමාජයේ 99% කටම සැබෑ සත්‍යය දකිනු රිසි වුවද එය දැකගත නොහැකි වන සේ ඇස් අන්ධ කර ඇත !
සියල්ල උඩුයටිකුරු වූ මෙවන් විකෘති සමාජ ක්‍රමයක් තුළ, “මීට වඩා දෙයක් වෙන්නේ නැහැ” යැයි කියමින්, සියල්ල දෙස බලා ඇස් කන් පියාගෙන සිටීම සාපරාධී නිහඬතාවයකි ! ඒ සාපරාධී නිහඬතාවයට එරෙහිව නැගී සිටින, මේ මහා විනාශය දැක දැකත් නිහඬව සිටිය නොහැකි අතළොස්සක් වූ අවංක මිනිසුන් තවමත් මේ පොළොවේ ඉතිරිව ඇත. අන්න ඒ සැබෑ මිනිසුන් අතළොස්ස හා අත් වැල බැඳගනිමින්, ‘පුරෝගාමියා’ අද මේ සූදානම් වන්නේ අසත්‍යයට එරෙහිව උඩුගං බලා පිහිනීමටයි!
අපේ උපන් බිම, අපේ ආඩම්බරය වූ මොරටුව මූලික කරගනිමින්, මොරටුවේ සමස්ත පාලන තන්ත්රයේ හොඳ සේම නරක ද , මේ බිමට වින කටිනා දුෂ්ටයන්ගේ සියලු කෙරුම් ඇඳුම් පැළඳුම් ගලවා ලන සේම රට හමුවේ තැබීම අපේ පරම අභිලාෂයයි.
මොරටුවේ උපන්, මොරටුවට ආදරය කරන බොහෝ දෙනෙකු අපේ හිතවතුන් විය හැක. නමුත්, ඒ හිතවත්කම් සත්‍යය යටපත් කිරීමට බාධාවක් කර නොගන්නා බවට අප සපථ කරන්නෙමු ! සියලු සත්‍යයන්, සඟවන්නේ නැතිව, ඒ අයුරින්ම හෙළිදරව් කිරීම ‘පුරෝගාමියාගේ’ ඒකායන ප්රතිපත්තියයි.
සියල්ල මුදලින් තීරණය වන, මුදල් පසුපසම හඹායන මේ සැඩපහරට එරෙහිව නැගී සිටීම නිෂ්ඵල බව බොහෝ දෙනෙකු අපට කියනු ඇත.
නමුත්, ඒ නොකළ හැක්කක් යැයි කියන අභියෝගය කෙසේ හෝ ජය ගන්නා පරමාර්ථයෙන්,
මේ මස 01 වනදා අද දිනදී අප අපගේ ප්‍රථම අභියෝගාත්මක පියවර තබන්නෙමු!
මේ ඇරඹුම කිසිවෙකු සැනසීමට හෝ වැලපීමට නොව, මහජනතාවගේ පරමාර්ථ සන්තක පරමාධිපත්‍යය වෙනුවෙන් සහ ඔවුන්ගේ සිත්වල ඇති සැබෑ සිතුවිලිවලට පක්ෂව නැගී සිටීමටයි.
මෙතෙක් කාලයක් මර්ධනය කළ, සඟවා තැබූ, නොකී සියලු කතාවලට ‘පුරෝගාමියා’ ඉඩහසර සලසා දෙයි. මේ වෑයම, මෙය නිර්මාණය කරන්නට වුව මුල් වූ කිහිපදෙනෙකුගේ පෞද්ගලික ලාභ ප්‍රයෝජන තකා නොව, අප උපන් දේශයේත්, මොරටු පුරවරයේත් සැබෑ සුභසිද්ධිය උදෙසාම පමණි!
එබැවින්, මොරටු වැසි පුරන් අප්පු විරුවා සේ වන් සටන්කාමී ජනතාවනි, මුළු මහත් ලාංකීය වැසියනි ! බියෙන් සහ සැකයෙන් තොරව ඔබ දන්නා සත්‍යය ලෝකයටම හඬගා කියන්නට අප හා එක්වන්නැයි ‘පුරෝගාමියා’ ඔබට මහත් ගෞරවයෙන් සහ ආදරයෙන් ආරාධනා කර සිටියි.
ඔබේ ප්රශංසාවන් මෙන්ම, තියුණු විවේචන සහ චෝදනාද එකසේ විවෘත මනසකින් විමසා සිත්හි තබනා අප, අපගේ ඉලක්කය කරා නොසැලී ගමන් කරන බවට මෙසේ සපථ කර සිටින්නෙමු !
යුක්තියේ නාමයෙන්, සත්‍යයේ ජයග්‍රහණය වෙනුවෙන් අප සියල්ලෝ අත්වැල් බැඳගනිමු !
ජයවේවා! – පුරෝගාමියා –

Be the first to comment