උසාවි එනවා කිව්වට ආවෙ නෑ: දිගටම මඟහැරිය බැසිල්ට මාතරින් වරෙන්තු – ලංකාවට ආවොත් ආපහු යන්න බැරි වෙන්න ගමන් තහනමකුත් !

“නඩුවට නොපැමිණ දිගින් දිගටම අධිකරණය මඟහරිමින් සිටින බැවින්, සැකකරු වහාම අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන්න…”

මාතර ප්‍රධාන මහෙස්ත්‍රාත් චතුරංග එරංග දිසානායක

අයථා ලෙස උපයාගත් මුදලින් මාතර බ්‍රවුන්ස්හිල් ප්‍රදේශයෙන් අක්කර එකහමාරක ඉඩමක් මිලදී ගැනීමේ සිද්ධියකට අදාළව පැවැත්වෙන නඩුවට දිගින් දිගටම පෙනී නොසිට අධිකරණය මඟහරිමින් සිටින හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මාතර ප්‍රධාන මහෙස්ත්‍රාත් චතුරංග එරංග දිසානායක මහතා ඊයේ (21) වරෙන්තු නිකුත් කළේය.

ඊට අමතරව, හිටපු අමාත්‍යවරයාට එරෙහිව විදේශ ගමන් තහනමක් ද පැනවීමට මහෙස්ත්‍රාත්වරයා නියෝග කළ අතර, ඒ අනුව බැසිල් රාජපක්ෂ මහතාට යම් හෙයකින් මෙරටට පැමිණීමට හැකි වුවද නැවත විදේශගත වීමේ හැකියාවක් ලැබෙන්නේ නැත.

පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය මගින් පවරා ඇති මෙම නඩුවේ 3 වැනි විත්තිකරු වන බැසිල් රාජපක්ෂ මහතා පසුගිය මැයි 22 වැනිදා ද අධිකරණය හමුවේ පෙනී නොසිටි අතර, ඊයේ දින ද විවෘත අධිකරණය හමුවේ පෙනී සිටියේ නැත.

මෙම නඩුවේ අනෙක් විත්තිකාරිය වන බැසිල් රාජපක්ෂ මහතාගේ බිරිඳගේ සහෝදරිය (අයෝමා ගලප්පත්ති) ද ඊයේ අධිකරණය හමුවේ පෙනී නොසිටි අතර, ඔවුන් දෙදෙනා වෙනුවෙන් පෙනී සිටියේ ඇපකරුවන් පමණි. සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීම ඇපකරුවන්ගේ වගකීමක් බව පෙන්වා දුන් මහෙස්ත්‍රාත්වරයා, ඔවුන් ඉදිරිපත් නොකිරීම මත ඇප මුදල් රාජසන්තක නොකිරීමට හේතු දක්වන ලෙස දැනුම් දුන්නේය. ඊට අදාළව ලිඛිත දේශන ඉදිරිපත් කිරීමට ඇපකරුවන් කාලය ඉල්ලා සිටි අතර ඒ සඳහා ලබන අගෝස්තු 18 වැනිදා තෙක් කල් ලබා දීමට අධිකරණය පියවර ගත්තේය.

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ, අයෝමා ගලප්පත්ති, තිස්ස ගලප්පත්ති සහ මුදිත ජයකොඩි යන අයට එරෙහිව පවරා ඇති මෙම නඩුව ලබන අගෝස්තු 18 වැනිදා නැවත කැඳවීමට නියමිතය.

Be the first to comment

Leave a Reply