අල්ලස් කොමිසමේ ප්‍රාදේශීය කාර්යාල 23 ක් මේ වසරේදී: දූෂණ මර්දනය ප්‍රාදේශීය මට්ටමටම ගෙනයන බවට අධිකරණ ඇමැතිගෙන් පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක්

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ ප්‍රාදේශීය කාර්යාල 23 ක් මේ වසර තුළ ස්ථාපිත කිරීමට පියවර ගන්නා බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

අලුතින් පිහිටුවනු ලබන මෙම ප්‍රාදේශීය කාර්යාල සඳහා අවශ්‍ය සියලු යටිතල පහසුකම් සපයාදීමට තම අමාත්‍යාංශය කටයුතු යොදමින් සිටින බව අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

වත්මන් රජය බලයට පත්වීමෙන් අනතුරුව දූෂණයට සහ වංචාවට එරෙහි සටන වඩාත් තීව්‍ර කර ඇති බව පෙන්වා දුන් අධිකරණ අමාත්‍යවරයා, පාර්ලිමේන්තුව අමතමින් මෙසේද පැවසීය.

“අපේ රජය බලයට පැමිණි පසු දූෂණයට සහ වංචාවට එරෙහිව සටන් කිරීම ඉතා තීව්‍ර කර තිබෙනවා. එලෙස කරන්නට සිදු වූයේ හොරුන්ගෙන් බහුල, ක්‍රමය කඩා වැටුණු යාන්ත්‍රණයක් හරහායි. එමෙන්ම අප අලුතින් අධිකරණ පිහිටුවා තිබෙනවා. දූෂණ හා අල්ලස් නඩු ඇසීමට කොළඹ උසාවි තුනක් පිහිටුවීමට පියවර ගත්තා. අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභා කාර්යාල 23 ක් මේ වසරේ ප්‍රාදේශීය මට්ටමින් පිහිටුවීම සඳහා පියවර ගන්නා බව ඔවුන් දැනුම් දී තිබෙනවා.”

දූෂණ මර්දන යාන්ත්‍රණය හුදෙක් නඩු ඇසීමට පමණක් සීමා නොකර, මැතිවරණ සමයේදී ජනතාවට ලබා දුන් පොරොන්දු ප්‍රායෝගිකව ඉටුකිරීමට රජය කැපවී සිටින බවද අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා අවධාරණය කළේය.

Be the first to comment

Leave a Reply