රෝහණ විජේවීර පවුලේ නම් හෙළි කිරීම ගැන පාර්ලිමේන්තුවේදී දයාසිරි සහ නියෝජ්‍ය අමාත්‍යවරයා අතර උණුසුම් වාදයක් !

ජනතා විමුක්ති පෙරමුණේ ආරම්භක නායක රෝහණ විජේවීර මහතාගේ බිරිඳ සහ දරුවන්ගේ නම් සහ තොරතුරු සම්බන්ධයෙන් අද (21) පාර්ලිමේන්තුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර සහ ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහත්වරුන් අතර දැඩි උණුසුම් වාද විවාදයක් හටගත්තේය.

ප්‍රශ්නය සහ පළමු පිළිතුර

පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා විසින් රෝහණ විජේවීර මහතාගේ බිරිඳ සහ දරුවන්ගේ නම් කවරේද යන්න පිළිබඳව පාර්ලිමේන්තුවේදී ප්‍රශ්නයක් මතු කරන ලදී.

ඊට පිළිතුරු ලබා දෙමින් ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතා මෙසේ ප්‍රකාශ කළේය:

“ගරු කථානායකතුමනි, ප්‍රශ්නය අංක 1 පිළිතුර දරුවන්ගේ විස්තර, බිරිඳ, ඒ වගේම දියණියන් හතර දෙනයි, වැඩිමහල් පුතා සහ බාල පුතා. පිළිතුර ප්‍රශ්න දෙකේ පිළිතුර 1992. ඉතින් ඔබතුමත් මේ තේරුම් ගන්න ඕනනේ. ඉතින් නම් කියන එක සුදුසු නැහැනේ මේ මන්ත්‍රීතුමා. ඒකනේ මං කිව්වේ, දියණියන් හතර දෙනයි, පුතාලා දෙන්නයි. සදාචාරයක් තියෙනවා නම් ඔබතුමත් ඒක තේරුම් ගන්න ඉතින්.”

නැවත මතු කළ ප්‍රශ්නය සහ දැඩි උණුසුම

නියෝජ්‍ය අමාත්‍යවරයාගේ පිළිතුරෙන් පසු දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා යළිත් වරක් අදාළ නම් ප්‍රසිද්ධ කරන ලෙස ඉල්ලා සිටියේය.

“ගරු කථානායකතුමනි, මගේ පළවෙනි අංක ප්‍රශ්නය තියෙන්නේ ජනතා විමුක්ති පෙරමුණේ ආරම්භක නායක රෝහණ විජේවීර මහතාගේ බිරිඳ සහ දරුවන්ගේ නම් කවරේද? ඉතින් නම් ටික දෙන්න පුළුවන්කමක් තියෙනවා.”

මෙම ඉල්ලීමත් සමඟ දැඩි ලෙස උරණ වූ නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතා මන්ත්‍රීවරයාගේ සදාචාරය ප්‍රශ්න කරමින් දැඩි ප්‍රතිචාරයක් දැක්වීය:

“ගරු කථානායකතුමනි, මන්ත්‍රීතුමා, මේ මම හිතුවේ ඔබත් පරිණත දේශපාලකයෙක් කියලා. මේක තේරුම් ගන්න බලද්දී මට වැරදිලා තියෙන්නේ. ඔබතුමා තේරුම් ගන්න, මේ විදිහේ ප්‍රශ්නයක් අහනකොට දෙන්න පුළුවන් විදිහක් තියෙනවා. උත්තරය දෙන්න පුළුවන් සමාජයේ උත්තර ලබා ගත යුතු ආකාරයක් තියෙනවා. ඉතින් මට හිතෙන්නේ ඔබතුමා ඒ නම් ගම් ඇහුවාම හිතාගන්නකෝ ඒ දියණියන්ගේ, පුතාලාගේ තියෙන තත්ත්වය. සදාචාරයක් තියෙනවනේ. ප්‍රශ්නයක් අහනකොටත් සදාචාරයක් තියෙන්න ඕනිනේ ඔබතුමාගේ. අනිත් ඔක්කොම විස්තර කිව්වානේ.”

මෙම සංවාදයත් සමඟ පාර්ලිමේන්තු සභාගර්භය තුළ කෙටි වේලාවක් උණුසුම්කාරී වාතාවරණයක් නිර්මාණය විය.

Be the first to comment

Leave a Reply