
“ශ්‍රී ලංකාව තුළ ISIS අන්තවාදය ව්‍යාප්ත වන බවට 2016දීම හමුදා බුද්ධි බළකාය ආරක්ෂක මණ්ඩලය දැනුවත් කළත්, ඉහළ පෙළේ පුද්ගලයෙකුගෙන් ඊට අකැමැත්තක්; අභියාචනාධිකරණයේදී ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන හෙළි කරයි.”
2016 වසරේ ශ්‍රී ලංකාව තුළ ISIS මතවාදය මුල් කර ගත් ඉස්ලාමීය අන්තවාදී ක්‍රියාකාරකම් උත්සන්න වීම සම්බන්ධයෙන් එවකට යුද හමුදා බුද්ධි බළකායේ අධ්යක්ෂවරයා වශයෙන් කටයුතු කළ සුරේෂ් සලේ ආරක්ෂක මණ්ඩලය දැනුවත් කර තිබූ බවත්, ඊට ආරක්ෂක මණ්ඩලයේ සිටි යම් ඉහළ පුද්ගලයෙකු එවැනි කරුණු ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් අකැමැත්ත පළ කර තිබූ බවත් ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන අඟහරුවාදා (ජූලි 21) අභියාචනාධිකරණය හමුවේ ප්‍රකාශ කළේ ය.
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවලට අදාළව තමන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම අභියෝගයට ලක් කරමින් රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති රිට් පෙත්සම යළි සලකා බැලූ අවස්ථාවේදී ඔහු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරයා මේ බව පැවසීය.
2016 වසරේදී අනාවරණය වූ ISIS උවදුර සහ ආරක්ෂක මණ්ඩලයේ ප්‍රතිචාරය
“ISIS ජාත්‍යන්තර ත්‍රස්ත සංවිධානයේ මතවාදයන් ශ්‍රී ලංකාව තුළ දරුණු ලෙස ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව 2016 වසරේ පෙත්සම්කාර සුරේෂ් සලේ යුද හමුදා බුද්ධි බළකායේ අධ්යක්ෂවරයා ලෙස ආරක්ෂක මණ්ඩලයේදී අවධානය යොමු කර තිබූ බව සඳහන් කළා.”
“එම මතවාද ශ්‍රී ලංකාව තුළ ව්‍යාප්ත වන ආකාරය සහ එහි අනතුරුදායක තත්ත්වය පිළිබඳවත් ඔහු එහිදී කරුණු දක්වා තිබුණා. සිරියාවේදී එල්ල කෙරුණු ගුවන් ප්‍රහාරයකින් IS සංවිධානයට සම්බන්ධ වූ ශ්‍රී ලාංකිකයකු මිය ගොස් තිබුණා. පසුව එම සංවිධානයට සම්බන්ධ වූ ශ්‍රී ලාංකිකයින් ගැන යුද හමුදා බුද්ධි බළකාය විමර්ශනයක් සිදුකළා. පසුව ශ්‍රී ලංකාව තුළ ඉස්ලාමීය අන්තවාදය මැඩ පැවැත්වීම සඳහා ගත යුතු පියවර ඇතුළත් “සංකල්ප පත්‍රිකාවක්” සුරේෂ් සලේ විසින් සකස් කළා. ඒ සඳහා කාර්ය සාධක බලකායක් පත් කළ යුතු බවටත් ඔහු යෝජනා කළා.”
“මේ සියල්ල ඔහු එවකට ආරක්ෂක ලේකම් ඉන්ජිනේරු කරුණාසේන හෙට්ටිආරච්චි වෙත ඉදිරිපත් කර තිබුණා. නමුත් ඉස්ලාමීය අන්තවාදය සම්බන්ධයෙන් සුරේෂ් සලේ දැක්වූ කරුණු දැක්වීම් සම්බන්ධයෙන් ආරක්ෂක මණ්ඩලයේ සිටි ඉහළ පෙළේ පුද්ගලයෙකු කැමැත්තක් පළ කළේ නැහැ. ඊට එම පුද්ගලයා අකැමැත්ත පළ කර තිබුණා. ඒ බව එවකට යුද හමුදාපති වශයෙන් කටයුතු කළ ජගත් ක්‍රිශාන්ත ද සිල්වා විසින් ජනක් ද සිල්වා කොමිසමට ලබාදී තිබූ සාක්ෂියේ සදහන් කර තිබෙනවා.”
බුද්ධි අංශ මාරුවීම් සහ නීතිඥවරයාගේ දැඩි ප්‍රකාශය
“මේ හේතුවෙන් ඉස්ලාමීය අන්තවාදී කටයුතු පිළිබඳ සුරේෂ් සලේ විසින් ආරක්ෂක මණ්ඩලයට ඉදිරිපත් කළ කරුණුවල යම් අඩාළ වීමක් සිදු වූ බව එවකට හමුදාපතිවරයා කොමිසම හමුවේ ප්‍රකාශ කර තිබුණා. ඊට මාස දෙකකට පමණ පසුව සුරේෂ් සලේ යුද හමුදා බුද්ධි බළකායෙන් ඉවත් කර මැලේසියාවට යවනවා. දේශපාලන හේතුන් මතයි මේක සිදුවුණේ.”
“මේ ආකාරයට ඉස්ලාමීය අන්තවාදයට එරෙහිව කටයුතු කළ පුද්ගලයෙකු පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු ලෙස නම් කරන්නේ කෙසේ ද? මේ නිසා වර්තමානයේ ඉස්ලාමීය අන්තවාදය රට තුළ ප්‍රචලිත වීමට රුකුලක් වී තිබෙනවා. ඉස්ලාමීය අන්තවාදය පිළිබඳව සොයා බලන බුද්ධි නිලධාරීන් එකිනෙකා රිමාන්ඩ් භාරයට පත් කරනු ලැබූවහොත් මෙම තත්ත්වය පිටුදකින්නේ කෙසේ ද?” යනුවෙන් පෙත්සම කැඳවූ අවස්ථාවේදී රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්යක්ෂ සුරේෂ් සලේ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ සංජීව ජයවර්ධන අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ ය.

Be the first to comment