අල්ලස් කොමිසම කටයුතු කරන්නේ ද්වේශ සහගතවයි” – ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස්

“නෑ… නෑ… අපි කටයුතු කරන්නේ නීතියට අනුවයි” – සහකාර අධ්‍යක්ෂිකා අනූෂා සම්බන්දප්පෙරුම

 2011 වසරේදී එවකට පැවැති රජය ගත් ප්‍රතිපත්තිමය තීරණයක් මත සිදු වූ “ග්‍රීක බැඳුම්කර මිලදී ගැනීම” සම්බන්ධයෙන් ඉහළ අධිකරණය මෙන්ම මහාධිකරණය ද පැහැදිලි නියෝග නිකුත් කර තිබියදීත්, සිය සේවාදායකයාට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව නැවත නැවතත් නඩු පැවරීම ද්වේශ සහගත ක්‍රියාවක් බව හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් මහතා ප්‍රකාශ කළේය. ඒ මහතා මේ බව කියා සිටියේ ඊයේ (30දා) කොළඹ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේ කරුණු දක්වමිනි.

එහිදී වැඩිදුරටත් කරුණු දැක්වූ ජනාධිපති නීතිඥවරයා, මෙම සිදුවීමට අදාළව සිය සේවාදායකයාට වගකීමක් පැවැරිය නොහැකි බවට අභියාචනාධිකරණය මුලින්ම තීරණය කර තිබූ බව පෙන්වා දුන්නේය. එමෙන්ම අදාළ පෙත්සම ඉදිරියට පවත්වාගෙන යෑමට අවසර නොදී ප්‍රතික්ෂේප කර තිබියදීත් අල්ලස් කොමිසම මහාධිකරණය හමුවේ නඩු පැවරූ බවත්, එම නඩුවෙන් ද කබ්රාල් මහතා ඇතුළු විත්තිකරුවන් නිදහස් කර තිබියදීත් කොමිසම දිගින් දිගටම මෙලෙස නඩු පවරන බවත් ඔහු පැවසීය. මෙම ක්‍රියාකලාපය තුළින්ම අල්ලස් කොමිෂන් සභාවේ ද්වේශ සහගත භාවය මනාව පැහැදිලි වන බව ජනාධිපති නීතිඥවරයා අවධාරණය කළේය.

අල්ලස් කොමිසමේ පිළිතුර

විත්ති පාර්ශ්වයේ මෙම චෝදනාවලට වහාම පිළිතුරු දුන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙනුවෙන් පෙනී සිටි සහකාර අධ්‍යක්‍ෂ (නීති) අනූෂා සම්බන්දප්පෙරුම මහත්මිය, එම චෝදනා සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කළාය. තම කොමිෂන් සභාව කිසිවකුට එරෙහිව ද්වේෂසහගතව කටයුතු නොකරන බවත්, සෑම විටම කටයුතු කරනුයේ නීතිමය රාමුව තුළ සිටිමින් පමණක් බවත් ඇය අධිකරණය හමුවේ කියා සිටියාය.

අධිකරණ තීන්දුව 13 වැනිදා

දෙපාර්ශ්වය විසින් ඉදිරිපත් කරන ලද වාචික හා ලිඛිත දේශන සලකා බැලූ මනෝජ් සල්ගොඩපිටිය, උදේශ් රණතුංග හා බුද්ධික සී. රාගල යන මහත්වරුන්ගෙන් සමන්විත විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල, මේ පිළිබඳ සුදුසු නියෝගය ලබන ජූලි මස 13 වැනිදා නිකුත් කිරීමට දින නියම කළේය.

එමෙන්ම, විත්ති පාර්ශ්වය විසින් පැමිණිල්ල ඉදිරිපත් කළ විරෝධතාවලට පිළිතුරු වශයෙන් දැක්වූ කරුණු ලිඛිතව ඉදිරිපත් කිරීමට අවශ්‍ය නම්, දින දෙකක් ඇතුළත ඒවා අධිකරණය හමුවේ ගොනු කරන ලෙස ද විනිසුරු මඬුල්ල විත්ති පාර්ශ්වයට නියෝග කළේය.

Be the first to comment

Leave a Reply