“නරක අධිකරණ පද්ධතියකින් රටක් විනාශ වෙන්න පුළුවන්” – අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන

රටක විනාශය ළඟා වන්නේ ස්වභාවික විපත්වලින් පමණක් නොවන බවත්, දුර්වල අධිකරණ පද්ධතියක් හේතුවෙන්ද රටක් ඉතා කෙටි කලකින් විනාශ වී යා හැකි බවත් අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා අවධාරණය කරයි. අගවිනිසුරුවරයා මේ බව කියා සිටියේ ඊයේ (02) කොළඹදී පැවැති උත්සවයක් අමතමිනි.

එහිදී විනිසුරුවරුන්ගේ වගකීම සහ අධිකරණයේ ස්වාධීනත්වය පිළිබඳව ඔහු මෙලෙස අදහස් දැක්වීය.

ජනතාවගෙන් ලැබුණු බලය

“පරමාධිපත්‍යයේ ප්‍රධාන කොටස් හතර වන ව්‍යවස්ථාදායකය, විධායකය, අධිකරණය සහ ඡන්ද බලය අතරින් අප අයත් වන්නේ තුන්වැන්නටයි. එනම් ජනතාවගේ අධිකරණ බලයටයි. විනිසුරුවරයෙකු විනිශ්චය ආසනයේ සිට ක්‍රියාත්මක කරන්නේ තමන්ගේ පෞද්ගලික බලයක් හෝ අධිකරණ සේවා කොමිෂන් සභාවෙන් දුන් බලයක් නොව, ජනතාව සතු අධිකරණ බලයයි.”

අධිකරණයේ ස්වාධීනත්වය කා වෙනුවෙන්ද?

අධිකරණයේ ස්වාධීනත්වය යනු විනිසුරුවරුන්ට තමන්ට රිසි සේ කටයුතු කිරීමට ලැබුණු නිදහසක් නොවන බව පෙන්වා දුන් අගවිනිසුරුවරයා, එය ජනතාවගේ යහපත උදෙසාම රැකිය යුත්තක් බව සඳහන් කළේය.

  • පටු අරමුණු පසෙක ලෑම: අධිකරණයේ ස්වාධීනත්වය රැකිය යුත්තේ විනිසුරුවරයාගේ පටු ප්‍රයෝජනය සඳහා නොව ජනතාව වෙනුවෙනි.

  • වැරදි වැටහීම්: “මම විනිසුරුවරයෙක්, මම ස්වාධීනයි, මට ඕනෑම දෙයක් කරන්න පුළුවන්” කියා සිතීම සම්පූර්ණයෙන්ම වැරදි බව ඔහු පෙන්වා දුන්නේය.

නැවත ගොඩනැඟිය නොහැකි විනාශයක්

නරක අධිකරණ පද්ධතියක් නිසා රටක් විනාශ වුවහොත්, එය කෙතරම් බරපතළ වනු ඇත්දැයි අගවිනිසුරුවරයා අවසන් වශයෙන් මෙසේ පැහැදිලි කළේය:

“දුර්වල අධිකරණ පද්ධතියක් නිසා රටක් විනාශ වුවහොත්, කිසිදු ජාත්‍යන්තර ආධාරකරුවෙකුට හෝ උපකාරයකට මේ රට නැවත කිසිදා ගොඩනැඟීමට නොහැකි වනු ඇත.”

Be the first to comment

Leave a Reply