
අපේ රටේ මිනිසුන්ගේ ශරීර සෞඛ්‍යයට අහිතකර බොහෝ දේ ප්‍රසිද්ධියේම සිදුවෙයි. ඒ අතරින් සිගරට්ටුව තරම් වස විස සහ අහිතකර ද්‍රව්‍ය අඩංගු වෙනත් කිසිවක් නොමැති තරම්ය. එහෙත්, එය නීතියෙන් පවා පිළිගත්, ලංකාව තුළ කිසිදු අභියෝගයකට ලක් නොවී නිදැල්ලේ අලෙවි වන නිෂ්පාදනයක් බව කවුරුත් දන්නා කරුණකි. පසුගිය සමයේ ඇතැම් සෞඛ්‍ය ඇමතිවරු සිගරට් විරෝධය කරලියට ගෙන එමින් තමන්ගේ ජනප්‍රියතාවය වැඩි කරගන්නට නොයෙක් දෑ කළ අයුරුද අපට මතකය.
කෙසේ වෙතත්, “පහත් තැනින් ජලය බැස යන්නාක් මෙන්” අපේ රටේ හැමදාම තැලෙන්නේ සහ පොඩිවෙන්නේ දුෂ්කර පළාත්වල වෙසෙන පොඩි මිනිසාය. හද්දා වන්නි හත්පත්තුවේ ගැමියාගේ අත්‍යාවශ්‍ය අංගයක් බඳු වූ බුලත් විට නිසා, අවසානයේ පුද්ගලයෙකුට අධිකරණය හමුවට යන්නට සිදු වූ අපූරු පුවතක් සාලියවැව ප්‍රදේශයෙන් වාර්තා වේ.
දුම්කොළ විට දන්සල වටලයි
සාලියවැව ප්‍රදේශයේ දුම්කොළ අඩංගු බුලත්විට දන්සලක් පවත්වාගෙන ගිය පුද්ගලයෙකුට එරෙහිව නීතිමය පියවර ගැනීමට තම්බෝව සහ කලාඔය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් (PHI) කටයුතු කර තිබේ. කරුවලගස්වැව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයට බලපැවැත්වෙන පරිදි සංවිධානය කර තිබූ මෙම දන්සල පිළිබඳව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් වෙත රහසිගත තොරතුරක් ලැබී තිබුණු අතර, ඒ අනුව වහාම ක්‍රියාත්මක වූ නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම වැටලීම සිදු කර ඇත.
සෞඛ්‍ය නිලධාරීන් අදාළ ස්ථානය පරීක්ෂාවට ලක් කරන අවස්ථාවේදීත්, එහි පැමිණි පිරිස් වෙත දුම්කොළ සහිත බුලත්විට බෙදාහරිමින් තිබූ බව වාර්තා වේ. පසුව නිලධාරීන් විසින් එම ස්ථානය භාරව කටයුතු කළ පුද්ගලයාට නිසි අවසරයකින් තොරව මෙවැනි දන්සලක් පැවැත්වීමේ නීති විරෝධී භාවය සහ සෞඛ්‍යමය බලපෑම පිළිබඳව කරුණු පැහැදිලි කර දී තිබේ.
PHI නිලධාරීන්ට බාධා කරමින් නොසන්සුන් වෙයි
සෞඛ්‍ය නිලධාරීන් ලබා දුන් අවවාද සහ උපදෙස් පිළිගැනීම ප්‍රතික්ෂේප කර ඇති අදාළ පුද්ගලයා, සෞඛ්‍ය නිලධාරීන්ගේ නිල රාජකාරී කටයුතුවලට බාධා පමුණුවමින් එම ස්ථානයේ නොසන්සුන් අයුරින් හැසිරී ඇත. එහිදී ඇති වූ උණුසුම් තත්ත්වය හේතුවෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් වහාම සාලියවැව පොලිස් ස්ථානය වෙත දුරකථනයෙන් දැනුම් දී, පොලිස් නිලධාරීන් පිරිසක් එම ස්ථානයට කැඳවා තිබේ.
පොලිස් මැදිහත්වීම සහ අධිකරණ ක්‍රියාමාර්ග: ස්ථානයට පැමිණි පොලිස් නිලධාරීන් සිද්ධියට අදාළ පුද්ගලයාගෙන් සහ මහජන සෞඛ්‍ය නිලධාරීන්ගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇත. රජයේ නිලධාරීන්ගේ රාජකාරියට බාධා කරමින්, නිසි අවසරයකින් තොරව නීති විරෝධී ලෙස දන්සලක් පැවැත්වූ එම තැනැත්තාට එළඹෙන ජූලි මස 9 වනදා පුත්තලම අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වමින් නඩු පැවැරීමට පියවර ගෙන තිබේ.
ලංකාවේ මහා පරිමාණ වස විස ජාවාරම්කරුවන් නිදැල්ලේ සිටිද්දී, වන්නියේ බුලත්විට දන්සලක් දුන් පොඩි මිනිසාට නීතිය ක්‍රියාත්මක වීම පිළිබඳව මේ වන විට ප්‍රදේශවාසීන් අතර ද විවිධ කතාබහ ඇති වෙමින් පවතී.

Be the first to comment