ඩෙංගු මදුරුවන් බෝවන ලෙස පරිශ්‍රය තැබූ හෝමාගම ලංගම ඩිපෝවට රුපියල් 25,000ක දඩයක් !

හෝමාගම ලංගම බස් ඩිපෝ පරිශ්‍රය තුළ ඩෙංගු ඇතුළු මදුරුවන් බෝවන ස්ථාන පවත්වාගෙන යාම හේතුවෙන් එම ඩිපෝවට රුපියල් 25,000ක දඩයක් නියම කිරීමට හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

හෝමාගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී (MOH) කාර්යාලයට අනුයුක්ත පිටිපන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා (PHI) විසින් පවරන ලද නඩුවක් සලකා බැලීමෙන් අනතුරුව හෝමාගම මහේස්ත්‍රාත් රාජින්ද්‍රා ජයසූරිය මහත්මිය විසින් මෙම දඩය නියම කර ඇත.

රතු නිවේදන 4ක්ම නොසලකා හැරලා

නඩු විභාගයේදී සෞඛ්‍ය බලධාරීන් අධිකරණයට පෙන්වා දුන්නේ මෙම පරිශ්‍රය පිරිසිදු කරන ලෙස දන්වමින් මීට පෙර අවස්ථා හතරකදීම ඩිපෝ පාලනාධිකාරිය වෙත “රතු නිවේදන” (Red Notices) නිකුත් කර තිබූ බවයි. එහෙත් එම දැනුම්දීම් දිගින් දිගටම නොසලකා හැරීම හේතුවෙන් මෙලෙස නීතිමය පියවර ගැනීමට සෞඛ්‍ය අංශ කටයුතු කර තිබේ.

මීට වඩා දැඩි දඬුවම් අවශ්‍යයි!

පවතින වැසි සහිත කාලගුණයත් සමඟ රට තුළ ඩෙංගු රෝග ව්‍යාප්තිය ඉහළ යමින් පවතින පසුබිමක, මෙවැනි වගකිවයුතු රාජ්‍ය ආයතන පවා මෙලෙස අලසව ක්‍රියා කිරීම කනගාටුවට කරුණකි. සමාජයේ බහුතරයක් ජනතාව ගැවසෙන බස් ඩිපෝ වැනි පොදු ස්ථානවල මදුරුවන් බෝවන ලෙස පරිශ්‍රය තබාගන්නා පුද්ගලයන්ට සහ ආයතනවලට එරෙහිව මීට වඩා ඉතා දැඩි දඬුවම් සහ විශාල දඩ මුදල් නියම කළ යුතු බව මහජනතාව සහ සෞඛ්‍ය ක්‍රියාකාරීන් පෙන්වා දෙති. ඩෙංගු උවදුර රටින් තුරන් කිරීමට නම් නීතිය මීටත් වඩා තදින් ක්‍රියාත්මක විය යුතු කාලය එළඹ ඇත

Be the first to comment

Leave a Reply