නිදහස් චතුරශ්‍රයේ ඇවිදින මංතීරුව මර උගුලක් වෙයි? ආචාර්ය හර්ෂගෙන් බලධාරීන්ට හදිසි අනතුරු ඇඟවීමක් !

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසන්නේ නිදහස් චතුරශ්‍රයේ ඇවිදින මංතීරුවේ පවතින අබලන් තත්ත්වය හේතුවෙන් මහජනතාවට දැඩි ආරක්ෂිත අවදානමක් මතුව ඇති බවයි. මේ සම්බන්ධයෙන් වහාම පියවර ගන්නා ලෙස ඔහු කොළඹ මහ නගර සභාවේ නගරාධිපතිනියගෙන් සහ නාගරික සංවර්ධන අධිකාරියෙන් (UDA) ඉල්ලා සිටියි.

‘X’ සමාජ මාධ්‍ය ඔස්සේ අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පාලන සමයේදී මීට වසර 15කට පමණ පෙර ඉදිකළ මෙම ඇවිදින මංතීරුව මේ වන විට උදෑසන ව්‍යායාමවල නිරත වන බොහෝ දෙනෙකුගේ ප්‍රියතම ස්ථානයක් වී ඇති බවයි.

“ඇත්තටම මම මේ තරම් අබලන් තත්ත්වයකින් මේ මංතීරුව දැකලා නැහැ. මෙහි මතුව ඇති ගල් තලාවන් ඇවිදින්නන්ට, විශේෂයෙන්ම වයෝවෘද්ධ අයට විශාල අනතුරක්,” යනුවෙන් ඔහු පෙන්වා දෙයි.

තවද, මංතීරුවේ කොටස් අලුත්වැඩියා කිරීම සඳහා ගෙනා පස් තොග මාස ගණනාවක් තිස්සේ කිසිදු ප්‍රයෝජනයකට නොගෙන එලෙසම පවතින බවද හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයා සඳහන් කළේය.

යමෙකු බරපතළ අනතුරකට ලක්වීමට පෙර මෙම ගැටලුව නිරාකරණය කරන ලෙස කොළඹ නගරාධිපතිනි ව්‍රායි කැලි බල්තාසාර් මහත්මියගෙන් සහ නාගරික සංවර්ධන අධිකාරියෙන් ඉල්ලා සිටි මන්ත්‍රීවරයා, “නගරාධිපතිනි ව්‍රායි සහ නාගරික සංවර්ධන අධිකාරිය, යමෙකු බරපතළ තුවාල ලැබීමට පෙර කරුණාකර මෙය ඔබගේ අවධානයට යොමු කරන්න,” යනුවෙන් වැඩිදුරටත් කියා සිටියේය.

Be the first to comment

Leave a Reply