
ලංකාවේ දැනට පවතින පැරණි ආඥාපනත් ද්විත්වයක් වූ ජලභීතිකා රෝගය පිළිබඳ ආඥාපනත (476 වන අධිකාරය) සහ සුනඛයින් ලියාපදිංචි කිරීමේ ආඥාපනත (477 වන අධිකාරය) ඒකාබද්ධ කරමින් සකස් කරන ලද නව පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමට සහ ඉන් අනතුරුව අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.
රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද මෙම යෝජනාවට මෙලෙස කැබිනට් අනුමැතිය හිමිව ඇත්තේ නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරන ලද “ජලභීතිකා රෝගය තුරන් කිරීමේ සහ සුනඛයින් ලියාපදිංචි කිරීමේ පනත් කෙටුම්පත” සඳහා නීතිපතිවරයාගේ නිෂ්කාශනය (අනුමැතිය) ලැබීමෙන් අනතුරුවය.
මෙම නව පනත මඟින් ප්‍රධාන අරමුණු කිහිපයක් ඉටු කර ගැනීමට අපේක්ෂිතය:
සුනඛ ගහනය පාලනය කිරීම: වීදි සුනඛයින් සහ නිවාසවල ඇති කරන සුනඛයින්ගේ ගහනය විද්‍යාත්මක සහ ක්‍රමවත් ක්‍රමවේද හරහා පාලනය කිරීම.
එන්නත්කරණය අනිවාර්ය කිරීම: සුනඛයින් සඳහා ජලභීතිකා එන්නත් ලබා දීම නීතිමය වශයෙන් විධිමත් කිරීම සහ අනිවාර්ය කිරීම.
ලියාපදිංචිය ශක්තිමත් කිරීම: සෑම සුනඛයෙකුම නීත්‍යානුකූලව ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලිය වඩාත් දැඩි සහ විධිමත් කිරීම.
බලතල සහ වගකීම් පැහැදිලි කිරීම: මෙම සමස්ත ක්‍රියාවලිය භාරව කටයුතු කරන පළාත් පාලන ආයතන ඇතුළු වගකිව යුතු ආයතනවල බලතල නීතිමය වශයෙන් පැහැදිලි කිරීම සහ එය ක්‍රියාත්මක කිරීම සඳහා ශක්තිමත් යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීම.
මෙම පනත සකස් කිරීම සඳහා මූලික අනුමැතිය හිමිවූයේ 2025 සැප්තැම්බර් 22 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදීය.

Be the first to comment