අරමුණ කිසිදා පාවා නොදුන් විප්ලවවාදියා ජනතා විමුක්ති පෙරමුණේ ශාන්තිලාල් ප්‍රනාන්දු !

වත්මන් දේශපාලන ලෝකය දෙස බලන විට අපට පෙනෙන්නේ වෙනස්ම රූපයකි. එදා තිබූ උතුම් මනුස්සකම්, ප්‍රතිපත්ති සහ සදාචාරයන් අද වන විට තානාන්තර, පට්ටම් සහ මන්ත්‍රී ධූර හමුවේ අසරණ වී ඇත. බලයට පත්වීමට පෙර වේදිකාවල දෙසූ උත්කෘෂ්ඨ අදහස් සියල්ල බලය ලැබුණු පසු කණපිට ගසා, පටු වාසි සහ වරප්‍රසාද පසුපසම හඹා යන නිරුවත් දේශපාලන සංස්කෘතියක් ලංකාව තුළ වුවමනාවටත් වඩා අද අපට පසක් වෙමින් පවතී.

නමුත්, මේ ආත්මාර්ථකාමී දේශපාලන මඩගොහොරුව තුළ තවමත් නොසැලී සිටිනා සැබෑ මිනිසුන් ද නැත්තේ නොවේ. මොරටුවේ කඩලාන ග්‍රාමයේ උපත ලබා, එදා සිට අද දක්වාම වසර 50 කට අධික දීර්ඝ කාලයක් තිස්සේ තමන් දැරූ වාමාංශික ප්‍රතිපත්ති සහ උතුම් අරමුණු එකදු හිසකෙස් ප්‍රමාණයකින් හෝ පාවා නොදුන් සුවිශේෂී මිනිසෙකු අපට හමුවේ. ඔහු නමින් ශාන්තිලාල් ප්‍රනාන්දු මහතා ය.

කෑදර ලෙස බලය පසුපස හඹා යන දේශපාලන රැල්ලට හසු නොවී, “අපගේ එකම අරමුණ බලය නොව සමාජවාදය සහ පොදු ජන සුබසිද්ධියමය” යන්න අදටත් තිරව හා සෘජුවම ප්‍රකාශ කිරීමට තරම් ඔහු ප්‍රතිපත්තිගරුක වී ඇත. වර්තමාන ලාංකීය දේශපාලන ක්ෂේත්‍රය තුළ මෙවැනි පරමාදර්ශී චරිතයක් හමුවීම පවා එක්තරා අතකින් දෛවෝපගත ආශ්චර්යයකි.

දේශපාලන ක්ෂේත්‍රයට අත්‍යවශ්‍ය පාඩමක්

පුරෝගාමියා කණ්ඩායමට මෙම අපූර්ව මිනිසා අහම්බෙන් මෙන් හමුවූ අතර, ඔහු සමඟ කළ දීර්ඝ සාකච්ඡාවකදී ඔහුගේ අතීත සහ වර්තමාන දේශපාලන ජීවිතයේ බොහෝ සැඟවුණු කතා අප වෙත අනාවරණය විය.

වත්මන් පටු දේශපාලනයේ නියැලෙන්නන් මෙන්ම, සමාජ සාධාරණත්වය අගයන නව පරපුර ද ශාන්තිලාල් ප්‍රනාන්දු මහතාගේ ජීවන අත්දැකීම් සහ දේශපාලන භාවිතාව පිළිබඳව අනිවාර්යයෙන්ම කියවිය යුතුම, ඇසිය යුතුම වේ. එය හුදෙක් කතාවක් නොව, ප්‍රතිපත්තිගරුක මිනිසෙකුගේ අරගලයක සජීවී සලකුණකි.

එබැවින්, මේ අසිරිමත් මිනිසාගේ ජීවිත කතාව සහ ඔහු සතු දේශපාලන දර්ශනය, ඉදිරියේදී කොටස් වශයෙන් පුරෝගාමියා පිටු අතරින් ඔබ වෙත සමීප කිරීමට අප බලාපොරොත්තු වෙමු.

රැඳී සිටින්න අප සමඟ, මතවාදී මිනිසෙකුගේ මතක ආවර්ජනය කියවන්නට අසන්නට බලන්නට …

Be the first to comment

Leave a Reply